slpc.lk

කුමාරතුංග මුනිදාසයන්ගේ පුවත්පත් සඟරා සංස්කරණ භූමිකාව

කුමාරතුංග මුනිදාසයන්ගේ පුවත්පත් සඟරා සංස්කරණ භූමිකාව

(ප්‍රකට පුවත්පත් කලාවේදීන් ඇගයීම සහ පුවත්පත්කලා ඉතිහාසය පිළිබඳ විෂයානුබද්ධ දැනුම ලබාදීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සති දෙකකට වරක් පුවත්පත් කලාවේදියකු පිළිබඳව ලිපියක් පළ කිරීමට අපේක්ෂා කරනු ලබයි.)

(කුමාරතුංග මුනිදාස මහතා මියගොස් මාර්තු 2 වන දිනට වර්ෂ 74ක් පිරීම නිමිත්තෙනි)

පුවත්පත් කලාවේදියා ස්වකීය සන්නිවේදන කාර්යය සාර්ථක ව ඉටු කර ගැනීම සඳහා පුවත්පතට ම විශේෂ වූ භාෂා ව්‍යවහාරයක් යොදා ගනියි. සිංහල පුවත්පත් ඉතිහාසයේ ආරම්භක අවධියේ දී, පුවත්පතට යෝග්‍ය භාෂා ව්‍යවහාරය කුමක් ද යන්න පිළිබඳව සම්මතයක් නොතිබුණු නමුදු, කාලයත් සම`ග පුවත්පත නිසා සිංහල භාෂාව ප‍්‍රබල ප‍්‍රකාශන මාධ්‍යයක් බවට පත් විය. විසිවන සියවසේ සිංහල භාෂා විෂයයෙහි කැපී පෙනුණු ප`ඩිවරයකු වන මුනිදාස කුමාරතුංග මහතා, ‘ලක්මිණි පහන’ පුවත්පත පවත්වමින්, පත‍්‍ර කර්තෘවරයකු වශයෙන් ඉටු කළ පුරෝගාමී සේවාව මෙහි දී අපගේ විමසුමට ලක් වේ. භාෂා විශාරදයකු, වෛයාකරණඥයකු, ග‍්‍රන්ථ ශෝධකයකු, කවියකු වශයෙන් පමණක් නොව, නිර්මාණ ශක්තියෙන් හෙබි ලේඛකයකු වශයෙන් හෙළ බස, රැුස, දෙස යන ‘‘හෙළ තෙරුවන’’ නංවන්නට ඔහුගෙන් ඉටු වූ සේවය මේ රටේ ඉතා ප‍්‍රකටය.

මුනිදාස කුමාරතුංග මහතා උපත ලැබුවේ වර්ෂ 1887 ජූලි මස 24 වනදා මාතර දික්වැල්ලේ දික්හේන නම් ගම් පියසේ දී ය. ළමා කල මෙතුමාගේ ජීවිතය හැඩ ගැස් වූ මූලික බලවේගය වූයේ පියා බව ‘‘පිය සමර’’ කියවන විට වැටහී යයි. පියාණන් විසින් අකුරු කියවන ලදුව, සිය උපන් ගමෙහි වූ මොග්ගලී පුත්ත තිස්ස (වර්තමාන කුමාරතුංග මහ විදුහල) බෞද්ධ පාඨශාලාවෙන් අධ්‍යාපනය ඇරඹුවේය. මුනිදාස කුමාරතුංග පස් වන පෙළෙහි ඉගෙනමින් සිටිය දී සිය පියාගේ මරණය සිදු විය. පාසලෙහි සවන ප‍්‍රමාණය ඉක්මවූ පසු සිය දෙටු සොහොයුරකු විසින් ඔහු, මාතර සාන්ත තෝමස් විදුහලට ඇතුළත් කරන ලදී. එසේ කරන ලද්දේ ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් වුවත්, එහි වැඩි කලක් ඉගෙනීමේ වරම මුනිදාස කුමාරතුංගට නොලැබිණි. එහි සත්වැනි ප‍්‍රමාණය තෙක් ඉගෙනීම විය. අවුරුද්දක් තරම් වූ ඒ කාලය ඔහු මිඩංගු කෙළේ, සිය පියා විසින් මහත් වෑයමෙන් රැුස් කොට තිබුණු පුවත්පත් සගරාදිය කියැවීමට ය.

වර්ෂ 1907 දී පමණ කොළඹ පැමිණ, එවකට තර්ස්ටන් පාරේ පිහිටි ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළු වූ මෙතුමා එහි දෙවසරක් පුහුණුව ලබා පරීක්ෂණවලින් ප‍්‍රථම ස්ථානය හිමි කර ගෙන ද්විභාෂා ගුරුවරයකු ලෙස පත්වීමක් ලැබීය. 1909 දී බෝමිරියේ ද්විභාෂා පාඨශාලාවෙහි උපගුරුවරයකු වශයෙන් ගුරු සේවාවට පිවිසි කුමාරතුංග එහි තුන් මසක් පමණ කටයුතු කොට, කඩුගන්නාවේ ද්විභාෂා පාඨශාලාවේ ප‍්‍රධානාචාර්යවරයා ලෙස පත් විය. 1909-1917 තෙක් එහි ගත කළ සමය, සිංහල ව්‍යාකරණය පිළිබඳව ඔහු සිත් යොමු කළ කාලයක් විය. 1917 දී පාඨශාලා පරීක්ෂක පදවියකින් පිදුම් ලැබූ කුමාරතුංග, පුරා පස් වසක් එම තනතුරෙහි සේවා කොට රාජකාරියෙන් ඉවත් විය.

රජයේ සේවාවෙන් ඉවත් වීමෙන් පසු තම කාලය මුළුමනින් ම ශාස්ත‍්‍රීය කටයුතු සඳහා කැප කළ කුමාරතුංග, 1922 දී සිය ප‍්‍රථම විවරණ ග‍්‍රන්ථය වන ‘නිකාය සංග‍්‍රහ විවරණය’ පළ කෙළේය. ‘ස්වරාජ්‍යය’, ‘සරසවි සඳරැුස’, ‘දිනමිණ’ යන පත‍්‍රවලටත්, ‘ශ‍්‍රී ධර්ම ශ‍්‍රී’ ස`ගරාවටත් ශාස්ත‍්‍රීය ලිපි සැපයීම කළ කුමාරතුංග, 1925 පමණ සිට ‘ස්වදේශ මිත‍්‍රයා’ පත‍්‍රයට ලිපි සම්පාදනය ආරම්භ කෙළේය. 1925 ජූනි 7 වනදා මෙතුමා, ‘ස්වදේශ මිත‍්‍රයා’ පත‍්‍රයට ලියූ ලිපිය, ‘කුකවි වාදයට’ ද හේතු විය. කුමාරතුංග භාෂා සාහිත්‍ය සේවාවේ ප‍්‍රථම අවධිය වශයෙන් සැලකිය හැකි, 1922-1927 කාල පරිච්ෙඡ්දය, එතුමා භාෂා ශාස්ත‍්‍ර විද්වතකු ලෙස රට පුරා නමක් ඇති කර ගත් අවධියක් වූ බව පෙනේ.

වර්ෂ 1927 දී කුමාරතුංග නිට්ටඹුවේ ගුරු අභ්‍යාස විද්‍යාලයාධිපති ධුරයට පත්වීමෙන් යළිත් ගුරු සේවාවට යොමු වුණේය. 1929 අගෝස්තු මාසයේ දී එයින් අස්ව, බළපිටියේ ගුරු අභ්‍යාස විද්‍යාලයක් අරඹා එහි අධිපති විය. තෙමසක පමණ කාලයකින් පසුව එම තනතුරින් ද අස් වූ කුමාරතුංග තම මුළු මහත් කාලය ම ග‍්‍රන්ථකරණයට හා ශාස්ත‍්‍රීය කටයුතුවලට කැප කෙළේය. පුවත්පත්, සඟරා සංස්කාරකවරයකු වශයෙන් මෙතුමා ඉටු කළ සේවාව විමසන විට ද වඩා වැදගත් වන මෙම දෙවන අවධිය (1927-1939) කුමාරතුංග ශාස්ත‍්‍රීය ජීවිතයේ ස්වර්ණමය අවධිය වශයෙන් අපට දැක්විය හැකි ය. ලක්දිව පත‍්‍ර සඟරාදියට ලිපි සැපයීමෙන්, ව්‍යක්ත ලේඛකයකු වශයෙන් රටේ නමක් දිනා සිටි කුමාරතුංග මහතා, 1929 ජනවාරි මාසයේ දී නිට්ටඹුවේ බෞද්ධ අභ්‍යාස විද්‍යාලයේ මාසික ශාස්ත‍්‍රීය සංග‍්‍රහයක් වශයෙන් ‘පහන’ නමින් පිටු 32ක සඟරාවක් අරඹා ඇත.

සිංහල පුවත්පත් ඉතිහාසයේ කුමාරතුංග මහතාගේ නම අමරණීය වූයේ, ඔහු කලක් නැවතී තිබුණු ‘ලක්මිණි පහන’ පත‍්‍රය යළි ආරම්භ කිරීම නිසා ය. හුදෙක් පත‍්‍රයක් යළි ආරම්භ කිරීම පමණක් නොව, එය රටේ පත‍්‍ර කලාවට ආදර්ශයක් වන ලෙස පවත්වාගෙන යාම නිසා, කුමාරතුංග ශාස්ත‍්‍රීය සේවාව ද තවත් පුළුල් විය. මාතර ධර්මරත්න පඩිතුමාගේ අභාවයෙන්, 1925 දී නැවතුණු ‘ලක්මිණි පහන’ 1934 ජූනි 26 වන දා සිට කුමාරතුංග මහතාගේ සංස්කාරකත්වය යටතේ, සෑම අගහරුවාදා දිනක ම පළ වුණි. කුමාරතුංග මහතාගේ අරමුණ වූයේ එකල තිබූ අන් පුවත්පත්වලින් ඉටු නොවූ අංශයක් කෙරෙහි තම පත‍්‍රයෙන් සේවයක් සැලසීමට ය. ‘ලක්මිණි පහන’ මගින් කුමාරතුංග මහතා ඉටු කළ සේවාව අපට ක්ෂේත‍්‍ර කීපයක් ඔස්සේ විභාග කර බැලිය හැකි ය:

  • යටත් විජිත සමයක පැවැති පරගැති ආකල්පවලින් ජනතාව මුදවා ගැනීමටත්, රටේත්, ජාතියේත් සැබෑ අවශ්‍යතා මතු කරලීමට කළ මෙහෙය
  • ලිඛිත සන්නිවේදන මාධ්‍යයක් වූ පුවත්පතක පැවැතිය යුතු භාෂාවේ 
  • නිරවද්‍ය ව්‍යවහාරය භාවිතයට ගැනීම මගින් සිංහල භාෂාවේ පෝෂණයට ඉටු කළ මෙහෙය
  • විවිධ විෂය හා ප‍්‍රවෘත්ති සන්නිවේදනය මගින් පාඨකයන්ගේ දැනුම දියුණු කිරීමට ඉටු කළ මෙහෙය

කුමාරතුංගගේ කර්තෘත්වය යටතේ ‘ලක්මිණි පහන’ ප‍්‍රචලිත වූයේ එහි පළ වූ කතුවැකි නිසා ය. කුමාරතුංගගේ මෙම කතුවැකි සියල්ල පරීක්ෂාවෙන් විමර්ශනය කරන්නකුට එමගින් ඔහුගේ චින්තනය පමණක් නොව, තත්කාලීන සමාජ තත්ත්වය ගැන ද අවබෝධයක් ලබා ගත හැකි ය. කුමාරතුංග විසින් රචිත කතුවැකි, ප‍්‍රධාන වශයෙන් ම භාෂාව, ආගම, දේශපාලනය සහ අධ්‍යාපනය යන අංශවලට යොමු වී පැවතුණි.

සිංහල ජනයා තුළ දේශීයත්වය හා ජාතිකත්වය ඇති කරලීමට ‘ලක්මිණි පහන’ පුවත්පත මගින් කුමාරතුංග මහතා ඉටු කළ සේවය විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. ඔහු සිංහල ජාත්‍යනුරාගී ව්‍යාපාරයට කෙළින් ම සම්බන්ධ වී ඇත්තේ ද මේ යුගයේ දී ය. ‘ලක්මිණි පහන’ ඇරඹීමේ දී කුමාරතුංගගේ එක් පරමාර්ථයක් වූයේ යටත් විජිතවාදීන්ට ගැතිව සිටි සිංහලයාගේ ‘දීන බව මකා’, ‘අභිමානය නගාලීම’ය. ‘ලක්මිණි පහනේ’ මුල් ම කතුවැකියෙන් එය හෙළි කෙළේ මෙසේ ය:

මේ සා එළිය ඇත කාලයෙකැ මෙ සා දින වැ සිටිනා අනෙක් රටක් මිහි පිටැ අද්ද යනු විමැසිය යුත්තේ යැ. ලැබෙන පණමක් දෙකක් නවති යි සිත ඇත්ත කියන්නට බිය වන, තමන් නො කැමැති එකකුට ලාභයක් වන සැටි දුටුවහොත් මුළු රට වුවත් පුදා එය වළකන්නට වැර වඩන, හිස් ගරු නමක් ලැබේ නම් කවර නො තරම් කමක් වුව ද කරන්නට සැරසෙන වැඩි දෙනාට ලැබෙන බලය වළකනු සඳහා තමන් දුබල වන්නට පතන හීනයන් ගෙන් ගහන වූ රටකට නින්දා මිසැ කවර ප‍්‍රශංසාවෙක් ද? 

(ලක්මිණි පහන, 1934 ජූනි 26)

ජාතික අනන්‍යතාව තීරණය වන ප‍්‍රධාන සාධකය භාෂාව වශයෙන් සැලකූ කුමාරතුංග ‘බස-රැස-දෙස’ යනුවෙන් ‘හෙළ තෙරුවනක්’ ඉදිරිපත් කරමින් බසට මුල් තැනක් දුන්නේ ය. එකල පළ වූ අනෙකුත් සිංහල පුවත්පත් අතුරින් ‘ලක්මිණි පහන’ සුවිශේෂ වන්නේ එහි උපයුක්ත භාෂාව නිසා ය. පුවත්පතකින් භාෂාවට සිදු කළ හැකි මෙහෙය වටහා ගත් කුමාරතුංග, භාෂාව සම්බන්ධයෙන් එක්තරා ‘ප‍්‍රතිපත්තියක්’ ලක්මිණි පහනේ අනුගමනය කෙළේය. විවිධ විෂයයන් පිළිබඳ විවේචන, විමර්ශන හා ප‍්‍රවෘත්ති ජනතාව වෙත ලබාදීම මගින් පාඨකයන්ගේ දැනුම වර්ධනය කිරීමේ මාධ්‍යයක් බවට ‘ලක්මිණි පහන’ පත් කිරීමට ද මෙතුමා සමත් විය.

තම පත‍්‍රයේ ගුණ-දොස් දැක්වීමට පාඨකයන්ට අවස්ථාව ලබා දුන් කුමාරතුංග, නිදහස් අදහස් පළ කිරීමට හැමවවිටම ම උත්සාහ දැරීය. එහෙත් ඔහුගේ කර්තෘත්වයෙන් ‘ලක්මිණි පහන’ පැවැත්වුණේ වසර එකහමාරක් පමණි. මේ අනුව 1936 ජනවාරි 21 වනදා කුමාරතුංගගේ සංස්කාරකත්වය යටතේ අවසන් පත‍්‍රය පළ විය. කුමාරතුංගගේ කර්තෘත්වය යටතේ පැවැති ‘ලක්මිණි පහන’ මේ රටේ පත‍්‍ර අතර සුවිශේෂ ස්ථානයක් හිමිකර ගත්තේය.

‘ලක්මිණි පහන’ නැවතුණු පසුව ද කුමාරතුංග පුවත්පත් කලාවෙන් බැහැර වූ බවක් නොපෙනේ. තමාගේ සමකාලික පත‍්‍ර කර්තෘවරයකු වූ ඞී.ඩබ්ලිව්. වික‍්‍රමාරච්චි මහතාගේ ‘ස්වදේශ මිත‍්‍රයා’ පත‍්‍රයේ පළ වූ ‘කලා කලාපයේ’ සංස්කාරක වශයෙන් කටයුතු කරමින්, එයට ‘පද සැහැල්ල’, ‘ගුරු මුෂ්ටි’ යන විශේෂාංග සහ ශාස්ත‍්‍රීය ලිපි පෙළක් ද ලියුවේය. ‘කලා කලාපය’ නමින් හැඳින්වුණු ශාස්ත‍්‍රීය කලාපය පළ වී ඇත්තේ 1936 නොවැ. 21 වනදා සිට 1936 දෙසැම්බර් 26 වනදා තෙක් පමණි.

කුමාරතුංග මහතාගේ ‘ලක්මිණි පහන’ මෙරට බොහෝ දෙනා අතර ප‍්‍රකට වුවත්, මෙතුමා තවත් පත‍්‍රයක කතුවරයා වශයෙන් කටයුතු කර ඇති බව බොහෝ දෙනකු දැන ගත්තේ පසුකාලයක කරන ලද සෙවීම්වල ප‍්‍රතිඵල නිසා ය. 1936 අතුරු මැතිවරණ සමයේ දී ‘ඉළපත’ නමින් පත‍්‍රයක් ‘පහන් පහරෙහි’ මුද්‍රණය කරවා බෙදාහැර ඇත. 1936 නොවැම්බර් 21 දා සිට 1937 ජනවාරි 9 වනදා තෙක් පැවැති මෙම පත‍්‍රයේ කලාප හයක් පමණි පළ වූයේ.

පුවත්පත් පැවැත්වීමේ අසීරුතාව පසක් කර ගෙන සිටි කුමාරතුංග, පසුව සගරා ඔස්සේ තම භාෂා සාහිත්‍ය පෝෂණයට දායක විය. එහෙත් ඔහු, ‘ලක්මිණි පහන’ පත‍්‍රය මගින් ගෙන ගිය සේවාව වඩා පෘථුල වූ බව කිව යුතු ය. කුමාරතුංග ‘සුබස්වාදියකු’ ලෙස පසු කාලයේ හැඳින්වෙන්නට වූයේ ඔහු විසින් 1939 ජූලි 10 වනදා අරඹන ලද ‘සුබස’ සගරාව නිසා ය. ‘සුබස පිරිසුදු බස’ සඳහා කැප වන සගරාවක් බව එහි මුල් ම කලාපයේ පළ වූ සංස්කාරක සටහනින් කියා සිටියේ ය. 1941 දී ‘හෙළ හවුල’ ඇරඹීමත් සමග ‘හෙළ හවුලේ සගනුව’ බවට ‘සුබස’ පත් විය. සිංහලය නොදත් ඉංග‍්‍රීසීන්ගේ ප‍්‍රයෝජනය සඳහා 1941 අගෝස්තු 9 වනදා 'The helio' නමින් ඉංග‍්‍රීසි සඟරාවක් ද කුමාරතුංග ආරම්භ කෙළේ ය. කලාප 16ක් නිකුත් වී ඇති මේ ස`ගරාව 1941 දෙසැ. 22 වනදා නැවතිණි.

මුනිදාස කුමාරතුංග මහතාගේ සංස්කාරකත්වයෙන් පළ වූ පුවත්පත්, සඟරාවල කැපී පෙනෙන ම ලක්ෂණය ලෙස දැක්විය හැක්කේ නිවැරදි භාෂා ව්‍යවහාරයට දක්වා ඇති සැලකිල්ල ය. එම පත‍්‍ර සඟරාවලින් නිවැරදි සිංහලය ඉගෙන ගත්තෝ බොහෝ දෙනෙකි. සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය තුළ භාෂාව කෙරෙහි මෙතරම් අවධානයක් දැක්වූ සංස්කාරකවරයකු සොයා ගැන්ම අසීරු ය. ලිඛිත මාධ්‍යයේ වැදගත් ම අංගය වන ලේඛන ව්‍යාකරණය කෙරෙහි කුමාරතුංග මහතා ප‍්‍රකට කළ ගරුත්වය නිසා ම ඔහු අද්විතීය පත‍්‍ර කලාවේදියකු වශයෙන් සැලකිය හැකි ය.

මහාචාර්ය සඳගෝමි කෝපරහේවා - සිංහල අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

සම්බන්ධීකරණය සහ සැකසුම - ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය

Read 132 times