slpc.lk

ජනමාධ්‍ය නියාමනය හා ජනමාධ්‍ය නිදහස (දකුණු ආසියානු රටවලට විශේෂිතව)

ජනමාධ්‍ය නියාමනය හා ජනමාධ්‍ය නිදහස (දකුණු ආසියානු රටවලට විශේෂිතව)

ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2017 අගෝස්තු මස 02 දින බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී අතිගරු ජනාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් "මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව” ඩිප්ලෝමා පාඨමාලාවේ පස්වන කණ්ඩායමේ සහතික පත‍්‍ර ප‍්‍රදානෝත්සවයේදී ඉන්දීය පුවත්පත් මණ්ඩලයේ ගරු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.කේ.ප‍්‍රසාද් මහතා විසින් කළ මුඛ්‍ය දේශනය

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමනි, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමනි, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමනි, ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ගරු සභාපති කොග්ගල වෙල්ලාල බන්දුල මැතිතුමනි, ඩිප්ලෝමාලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවනි, ගරු මහත්ම මහත්මියනි, පළමුකොටම අද දින මෙම උත්සවයට මා හට, මාගේ බිරිඳට, නායක් මහතා සහ එම මහත්මියට ආරාධනා කිරීම පිළිබඳ ඉන්දීය පුවත්පත් මණ්ඩලය වෙනුවෙන් මාගේ කෘතඥතාවය පළ කර සිටින අතර පෞද්ගලික කරුණක් හේතුුවෙන් මාගේ බිරිඳට මෙම උත්සවයට සම්බන්ධවීමට නොහැකි වීම පිළිබඳව මාගේ කනගාටුව ප‍්‍රකාශ කර සිටිමි.

මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන්ට ඩිප්ලෝමා හා සහතිකපත‍්‍ර ප‍්‍රදානය කරනු ලබන මෙම අවස්ථාව ඔබේ ඉලක්ක සපුරා ගැනීමට හැකිවන ඉතා සුවිශේෂි ස්මරණීය අවස්ථාවක් ලෙස දකින අතර ඔබගේ සිහින සපුරා ගැනීමට සහය වූ දෙමාපියන්, ගුරුවරුන් මෙන්ම සෘජුව හෝ වක‍්‍රව ඔබට සහය වූ නම්් සඳහන් කළ නොහැකි සියලූ පුද්ගලයන් හට කෘතඥතාවය පළ කිරීමට ද මෙය අනගි අවස්ථාවක් වනු ඇත.

ඔබ අද සිටින මෙම තත්ත්වයට ගෙන ඒමට ඔබගේ දෙමව්පියන් කළ කැප කිරීම් ඔබ නොදන්නවා විය හැකියි. මට මේ මොහොතේ තෝමස් අල්වා එඩිසන් පිළිබඳ කතාවක් සිහියට නැගෙනවා. දිනක් එඩිසන්ගේ පාසල් ගුරුවරිය පණිවිඩයක් සහිත සටහනක් ඔහු අත තබා මවට පමණක් කියවීමට ගෙන ගොස් දෙන ලෙස කියා සිටි අතර කීකරු ශිෂ්‍යයෙකු වූ ඔහු එම සටහන තම මවට ලබා දුන්නා. එදිනෙන් පසු එඩිසන් පාසල් නොගොස් තම මව සමඟ නිවසේදී අධ්‍යාපන කටයුතුවල නියැලූනා. පසුකාලීනව, ඔහු විදුලි බල්බය නිර්මාණය කළ අතර තවත් පේටන්ට් බලපත‍්‍ර 1093 ක හිමිකරු බවට ද පත් වුනා.

මවගේ මරණින් පසු ඇයගේ සේප්පුවේ තිබි එඩිසන්ට හමුවූ පෙර කී සටහනේ මෙසේ සඳහන්ව තිබුණා. "ඔබේ පුතා සිටින්නේ උමතුවෙනි. ඔහු වෙනුවෙන් අනෙක් සිසුන්ගේ ආරක්ෂාව අවධානමේ දැමීමට අපට නොහැකියි. ඔහුට නිවසේදී අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්න.” පි‍්‍රය මිතුරනි, ඔබගේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබගේ දෙමව්පියන් කළ කැපකිරීම් අති විශාලයි රටේ ජනාධිපතිතුමන් අතින් ඩිප්ලෝමා සහතික ලබා ගන්නා මේ සාඩම්බර මොහොතේදී ඔබට නිසැකවම ඔවුන් සිහියට නැගෙනු ඇත. එමෙන්ම ඔබ මෙම අවස්ථාවේදී ඔබගේ හැකියාවන් ජනතා සුභ සිද්ධිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරධර්ම සහ සමාජ හර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප කරන බවට ජාතියට පොරොන්දු විය යුතුයි.

ඇතැමුන් පවසන පරිදි, "ඔබ පුවත්පත් නොබලයි නම් ඔබ දැනුවත් නොවේවි. නමුත් පුවත්පත් කියවීමෙන් ඔබ වැරදි ලෙස දැනුවත් වේවි.” ඔබ මෙම ප‍්‍රකාශය තහවුරු වන ආකාරයේ කිසිදු ක‍්‍රියාවක් නොකළ යුතුයි.

භාෂණයේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමකි. 1948 ඇරඹි මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය, සිවිල්, දේශපාලන අයිතිය පිිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය, මිනිස් අයිතිවාසිකම් හා මූලික නිදහස පිළිබඳ යුරෝපීය සම්මුතිය ආදී ජාත්‍යන්තර සම්මුති සහ ප‍්‍රඥප්ති රැුසකින් මෙම අයිතිවාසිකම පිළිගෙන ඇත. සියලූ දකුණු ආසියානු රටවල මූලික නීතිය මඟින් පුද්ගල නිදහස මෙන්ම මාධ්‍ය නිදහසද පිළි ගැනීමට ලක්ව ඇත. ඉන්දීය ව්‍යවස්ථා පුරෝගාමීන් භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස සිවිල් ස්වාධීනත්වයේ ජීවය ලෙසින් විවරණය කරනු ලැබූහ. එසේම අප ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ලියවිල්ල ලෙසින් වැඩිදුරටත් අර්ථ ගන්වා ඇත.

නිදහස් මාධ්‍ය යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තවත් එක් විකල්පයක් නොව අත්‍යවශ්‍ය අංගයකි. මනුෂ්‍යන්ට ඔක්සිජන් අවශ්‍ය වන්නේ යම් සේද ජනමාධ්‍යයේ පැවැත්ම උදෙසා නිදහස අත්‍යවශ්‍ය වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයන් වන මාධ්‍ය යනු ප‍්‍රජාතාන්ත‍්‍රික සංස්ථාවේ ආවරණය නොව ජනතාවගේ හක්‍ෂයි. ජනතා ගැටලූ වෙත සුභවාදී ප‍්‍රතිචාර දක්වන රටක් සශ‍්‍රීකව සංවර්ධනය වනු ඇත. යම් නිශ්චිත අරමුණක් උදෙසා විශාල වශයෙන් ජනතාව දැනුවත් කිරීමේ ප‍්‍රබලම හා ඵලදායී මෙවලම මාධ්‍ය වේ. එය තොරතුරු සන්නිවේදනය කිරීමේ හා පොදු මතයක් නිර්මාණය කිරීමේ වාහකයයි. වර්තමානයේ විවිධ මාධ්‍ය ඔස්සේ නිදහස්ව ඉතා වේගයෙන් ගලා යන තොරතුරු ජනතාව දැනුවත් කිරීමේදී මෙන්ම ඔවුන්ගේ ආකල්ප හැඩ ගැස්වීමෙහිලා ප‍්‍රබල භූමිකාවක් ඉටු කරනවා.

මාධ්‍යවේදියෙකුගේ ප‍්‍රධාන කාර්යභාරය තමා අවට ලෝකය පිළිබඳව විවිරණයක් සැපයීමයි. ඔහු අවස්ථාවන් නිරීක්ෂණය කොට ඒ පිළිබඳ තොරතුරු පළ කරමින් විවරණය කරනවා. මාධ්‍යවේදියෙකු මත පළ කිරීමේදී නිවැරදි, අපක්ෂපාතී, මැදහත් හා වගකීම් සහගත විය යුතුයි. ඔහු සැම විටම සත්‍යය සෙවීමේ කාර්යයෙහි නිරත විය යුතුයි. ිකරුණු පූජනීය බවත් ප‍්‍රකාශනය නිදහස්’ බවත් ඔහු සිහි තබා ගත යුතුයි. එබැවින් මාධ්‍යවේදීන් වාර්තාකරණයේදී කරුණු විකෘති කිරීමකින් තොරව මත දැක්වීම් පුවත් සමඟ මුසු නොකොට තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. පැරණි ඉන්දීය කියමනක් වන “ Satyam Bruyat, Priyam Bruyat Na Bruyat Satyam Apriyam” හි අර්ථය වනුයේ ර්‍ණසත්‍යය කතා කරන්න. ප‍්‍රසන්න වූ දෙය කතා කරන්න. අමිහිරි සත්‍යය පිළිබඳ කිසිවිටෙකත් කතා නොකරන්න.” යන්නයි කෙසේ වුව ද මහජන යහපත උදෙසා අඩුපාඩු පෙන්වාදීම සඳහා පත‍්‍රකලාවේදීන් සුවිශේෂි ලෙස වගකීමෙන් බැඳී සිටිය යුතුයි.

ලොව ප‍්‍රථම දෛනික පුවත්පත 1702 දී එංගලන්තයේදී එළි දැක්වණු අතර ප‍්‍රථම සතිපතා පුවත්පත ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නගරයේදී 1704 දී පළවුනා. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම මුද්‍රණාලය 1737 දී ආරම්භ වුනා. මුද්‍රණ කලාව කර්මාන්තයක් ලෙසත්, පුවත්පත් කලාව වෘත්තියක් ලෙසටත් විකාශනය වූයේ සියවස් තුනකට පෙර සිටයි. වර්තමානයේදී පුවත්පත් යනු ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක අත්‍යවශ්‍ය අංගයකි. එය මිනිසුන්ගේ දෙනෙත් හා දෙසවන් බදුයි. ලෝක ඉතිහාසයේ මෙවන් කෙටි කාලයක් තුළ මිනිස් සබඳතා කෙරෙහි මේ සා බලපෑමක් කිරීමට හැකි වෙනත් ආයතනයක් නොවූ තරම්ය.

අද වන විට පුවත්පත්, ගුවන්විදුලිය හා රූපවාහිිනිය ඇතුළු ජනමාධ්‍යය සතුව විශාල බලයක් පවතිනවා. සියලූම දකුණු ආසියානු රටවල ව්‍යවස්ථාවන් විසින් ජනමාධ්‍යයේ වැදගත්කම හඳුනාගෙන තිබෙන අතර මෙම සියලූ ජාතීන් පොදුවේ තම මූලික නීතිය මඟින් ජනමාධ්‍යයට ගරු කර ඇති අතර භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස එම ව්‍යවස්ථාවන් තුළින් සහතික කර තිබෙනවා.

ඉන්දීය ව්‍යවස්ථාව පුවත්පත් හා මාධ්‍ය නිදහස පිළිබඳව වෙන් වශයෙන් සඳහන් නොකළ ද එහි 19 වන වගන්තියේ ඇතුළත් භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස තුළින් එය පිළිඹිබු වෙනවා. ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) ව්‍යවස්ථාව මඟින් පුවත්පත් ප‍්‍රකාශනය ද ඇතුළත්ව භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස තහවුරු කර තිබෙනවා. බංගලාදේශයේ ව්‍යවස්ථාවේ 39 (1) (අ) (ආ) ව්‍යවස්ථාවන් මඟින් පුවත්පත් නිදහස හා භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස සහතික කරනවා. භූතාන වැසියන්ගේ භාෂණය හා ප‍්‍රකාශනයට ඇති නිදහස එරට ව්‍යවස්ථාවේ 7 වන ව්‍යවස්ථාව තුළ ඇතුළත් වන අතර එමඟින් ජනතාවගේ තොරතුරු ලබා ගැනීමේ නිදහස, පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයද ඇතුළුව මාධ්‍ය හරහා තොරතුරු ව්‍යාප්ත කිරීමේ නිදහස ද තහවුරු කර තිබෙනවා. මාලදිවයිනේ මතයද මීට සමානයි. මාලදිවයිනේ ව්‍යවස්ථාවේ 27 හා 28 ව්‍යවස්ථාවලින් සිතීමේ හා අදහස් ප‍්‍රකාශනයේ නිදහස මෙන්ම පුවත්පත් නිදහස ද සහතික කර තිබෙනවා. කිසිදු පුද්ගලයෙකුට යම් තොරතුරක මූලාශ‍්‍රය හෙළි කිරීමට බල කළ නොහැකි බවද එහි පැහැදිලි ලෙස සඳහන් කොට තිබෙනවා. පාකිස්ථාන ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථාව තුළ තම ජනතාවට විශේෂයෙන් පුවත්පත් සඳහා වන නිදහස සහතික කර තිබෙනවා. නේපාල ව්‍යවස්ථාවේ (2015) 18 වන ව්‍යවස්ථාව මඟින් මාධ්‍ය නිදහස වෙනත් ආකාරයකට තහවුරු කොට තිබෙනවා. එමඟින් පුවත්, කතුවැකිය හෝ වෙනත් විශේෂාංග වාරණය කිරීම තහනම් කර තිබෙනවා. එමෙන්ම ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජ ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මඟින් රාජ්‍ය බලධාරීන්ට පූර්ව ඉදිරිපත් කිරීමකින් තොරව මුද්‍රණය හා පළ කිරීම්වලට අයිතියක් ලබාදී තිබෙනවා. දකුණු ආසියානු රටවලට පොදු තවත් කාරණාවක් වන්නේ පුද්ගලයින් හෝ මාධ්‍ය සඳහා වන භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස පරම අයිතියක් නොවන අතර එය නීතියේ සීමාවන්ට යටත් වන බවයි. එමඟින් එක් එක් ව්‍යවස්ථානුකූල ප‍්‍රතිපාදනය මඟින් නිදහස මෙන්ම නියාමනය ද සුසංයෝගිව තහවුරු කර තිබෙනවා.

මා මාධ්‍ය නිදහසට කැපවී සිටින නමුත් එහි අනර්ථදායි කිසිවක් දකින්නේ නැහැ. කතුවරුන් ඇතැම් අවස්ථාවලදී චෝදනා කරනවා ව්‍යවස්ථාව තුළින් ලබා දී ඇති අයිතියක් එහිම තවත් ප‍්‍රතිපාදනයක් මඟින් ඉවත් කරන බව. නමුත් ව්‍යවස්ථාව එම අරමුණ සඳහා ම නිර්මාණය කර ඇති බව ඔවුන්ට අමතක වී තිබෙනවා. මාධ්‍ය වෘත්තිකයන් නිතර තම නිදහසට ඇති සීමාවන් පුළුල් කිරීමට උත්සාහ දරනවා. ඒ වගේම බලධාරීන් නිදහස් භාෂණයට ඇති ඉඩකඩ අවහිර කිරීමට උත්සාහ දරනවා. එය නොනවතින විවාදයක් ලෙස දක්වන්නට පුළුවන්. පුද්ගලයෙකු කෙතරම් නිදහස් මතධාරියෙකු වුවද ඇතැම් පුවත් වාර්තා කිරීමෙන් බැහැරවීම සුදුසු බව අවබෝධ කර ගත යුතුයි.

එක්සත් ජනපද කොංග‍්‍රසය ඉදිරියේ පුවත්පත් කලාවේදියෙකු පුදුම සහගත හෙළිදරව් කිරීමක් සිදු කළා. ර්‍ණමාගේ මතයට අනුව පුවත්පතක කාර්ය භාරය වියයුත්තේ් මතවාද මර්දනය කිරීම මෙන්ම පළ කිරීමය”ි. මාගේ දීර්ඝ වෘත්තීය දිවියේදී මා පුවත් පළ කිරීම් හා සමානවම පුවත් මර්දනය කළා. මා ඒ පිළිබඳව කනගාටු වන්නේ නැහැ. සමස්ථයක් ලෙස මා පළ කළ පුවත්වලට වඩා මර්දනය කළ පුවත් පිළිබඳ මා ආඩම්බර වෙනවා. මා පළ නොකළ ඇතැම් සිදුවීම් මානව යහපත උදෙසා වන අතර ඒවා පළ කළේ නම් ඇතැම් විට කිසිදු අයුරකින් අදාළ නොවන අහිංසක පුද්ගලයකුට ඉන් අසාධාරණයක් මෙන්ම වේදනාවක් වන්නට තිබුණා.” මෙම සෘජු, ව්‍යක්ත ප‍්‍රකාශයෙන් පැහැදිලි වන කරුණ වන්නේ පුවත්පත් නිදහස පරම අයිතියක් නොවන බවයි.

රාජ්‍යයක සිව්වැනි කුළුණ වන මාධ්‍ය විශාල බලයකින් යුතුව පාලනය කරමින් පවත්වාගෙන යන්නේ රොබෝවරු නොව මනුෂ්‍යයන්ය. මනුෂ්‍යයන්ට ද තමන්ට ආවේණික වූ රුචි අරුචිකම්, විශ්වාසයන් හා මත පවති. නූතන යුගයේදී පුවත් යනු ඉතා තරඟකාරී ව්‍යාපාරයක් වන අතරම මෙම ලාභ ඉපයීමේ වෑයම නිසා පුවත් වාර්තාකරණය ඉක්මන්, පක්ෂපාතී, අපැහැදිලි හා උද්වේගකර වී තිබෙනවා. විශේෂයෙන්ම රූපවාහිනි නාලිකාවලට එම වාර්තා නියමිත කාලසීමාව තුළ පළ කිරීම තරඟයක් බවට පත්වී තිබෙනවා. මේ සියල්ලක්ම වළක්වාලිය යුතු අතර ඒ සඳහා නියාමන අධිකාරියක අවශ්‍යතාවය මතු වී තිබෙනවා.

කලකට පෙර මහත්මා ගාන්ධි යෝජනා කළ පරිදි ස්වයං නියාමනය හොඳම විකල්පය වනවා. ඔහු ඉහතකදී පැවසුවා ර්‍ණපුවත්පත් මාධ්‍ය සතුව විශාල බලයක් පවතිනවා. නමුත් මර්දනය නොකළ ජලප‍්‍රවාහයක් මුළු රටක් දියෙහි ගිල්වා බෝග විනාශ කරනවා මෙන් පාලනය නොකළ පෑනකින් ද සිදු වන්නේ විනාශයක්ම පමණයි. එමෙන්ම ස්වයං පාලනය ප‍්‍රතිලාභ සහිත වුවද බාහිර පාලනය එහි අවශ්‍යතාවයට වඩා විනාශකාරී විය හැකියි.” මේ පිළිබඳව කිසිදු විවාදයක් තිිබිය නොහැකියි. නමුත් මිනිස් අත්දැකීම් මඟින් එය ඵලදායි නොවන බව පෙන්නුම් කරනවා. මාධ්‍යවේදීන් යනු ස්වර්ගයෙන් පැමිණි පිරිසක් නොවන අතර ඔවුන්ද පවතින සමාජ ස්ථරයේම කොටසක් වන බැවින් ඇතැම් අවස්ථාවලදී ඔවුන් ද තම පුද්ගලික ලාභ උදෙසා තම පෑන මෙහෙයවන අවස්ථා තිබිය හැකියි. අනෙක් අතට හක්‍ෂක් නොමැති පිරිස වෙනුවෙන් හක්‍ෂක්වීම මෙන්ම සත්‍යය වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙස මාධ්‍යවේදීන් බොහෝ විට රාජ්‍ය අධිකාරිත්වය සමඟ ගැටෙනු දක්නට ලැබෙනවා. බොහෝ අය විශ්වාස කරන පරිදි මාධ්‍යවේදීන් හා රාජ්‍ය සංස්ථාව අතර වන ගැටුම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හේතුවන බව සැලකෙනවා. මෙමඟින් බැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය වන අතර ඊට විසඳුම් ලෙස නිර්දෝෂ, අවංක හා රාජ්‍ය බලපෑම්වලින් වියුක්ත වූ ස්වාධීන ස්ත‍්‍රී පුරුෂ පාර්ශවයන්ගෙන් සමන්විත වූ නියාමන මණ්ඩලයක් ඇති කිරීම සුදුසු බව පෙනී යනවා.

දකුණු ආසියානු රටවල ව්‍යවස්ථාවන් මඟින් මාධ්‍ය ගරුත්වය මෙන්ම භාෂණයේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ද සුරක්ෂිත කොට තිබෙනවා. මාගේ දැක්මට අනුව සෑම රටකටම නිදහස් භාෂණය හා ප‍්‍රකාශනය හා පුවත්පත් නිදහස සීමා කිරීමට අවශ්‍ය නීති තිබෙනවා. නමුත් එසේ සිදු කොට තිබෙන්නේ නිදහස පරිහානියට ලක්වී්ම මෙන්ම අනෙකුත් අයිතීන් ආක‍්‍රමණය කිරීම වළක්වා සමස්ත සමාජ පද්ධතියේම යහපත උදෙසායි. දකුණු ආසියානු කලාපයේ පුවත්පත් නිදහස සහතික කරනු ලබන්නේ පුවත්පත් මණ්ඩල හෝ ඒ හා සමාන ආයතන වැනි මාධ්‍ය නියාමන මණ්ඩල මඟිනි. ඒ තුළින් අදාල රටවල්වල නිදහස් හා වගකීම් සහගත පුවත්පත් කලාවක් බිහි කිරීමට හා නගා සිටුවීමට ක‍්‍රියා කරනවා. දකුණු ආසියානු රටවල ඇති පුවත්පත් මණ්ඩල/මාධ්‍ය නියාමන මණ්ඩල පුවත්පත් නිදහස ආරක්ෂා කිරීමට සාමූහික වශයෙන් හක්‍ෂක් නගන අතරම එමඟින් ජාතික යහපත උල්ලංඝනය කිරීමකින් තොරව මාධ්‍යයේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා. වගකීම් සහගත මාධ්‍යයක් තුළින් පුද්ගල ගෞරවය හා අයිතීන්ට ගරු කරන වගකීම් සහගත සමාජයක් නිර්මාණය කර රටේ දියුණුවට දායකවෙමින් කලාපීය සංවර්ධනය කරා ළඟා විය හැකියි.

ඩිප්ලෝමා හා සහතික අතැතිව පුවත්පත් කලාව යන උතුම් වෘත්තියට එක්වීමේ බලාපොරොත්තුවෙන් හා වෙනසක නියමුවන් වීමේ අභිප‍්‍රායෙන් සිටින ඔබ හට අවවාදයක් ලබා දෙන්න මම කැමතියි. ලෝකය ව්‍යාජ මෙන්ම මුදල් ගෙවා ප‍්‍රචාරණය කරන ප‍්‍රවෘත්තිවලින් පිරි පවතින විටක දී සිදු විය හැකි අනතුරුවලින් ඔබව ආරක්ෂා කර ගැනීම ඔබගේ යුතුකමයි. ඇතැම් රටවල පත‍්‍රකලාවේදීන් මිනිසුන් මුලා කරන පිරිසක් ලෙස සලකනු ලබනවා. ඒ තත්ත්වයට පත් වුව හොත් ඔබ පිළිබඳව ඇති විශ්වසනීයත්වය බිඳ වැටී මෙම උදාර වෘත්තියේ කොටසක් ලෙස ඔබව නොසැලකීමට පුළුවන්. අපි එවැනි සිද්ධීන්ට කිසිසේත් ඉඩ නොතැබිය යුතුයි. ඔබ සැම විටම සමාජයේ දුර්වල හා අඩු වරප‍්‍රසාදලාභී ජන කොටසට අවධානය ලබාදී ඔවුන් ජාතික සංවර්ධන ක‍්‍රියාවලියට දායක කර ගත යුතුයි. ඔබ සැමවිටම සමාජ සාධාරණත්වයේ ගිනිසිළුව වන්න. ඔබේ හෘද සාක්ෂියට සවන් දෙන්න. එවිට ඔබ කිසිවිටක පරාජිත නොවනු ඇත`.

සැකසුම: නිරෝෂණ තඹවිට , පුවත්පත් කොමසාරිස්, ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය.

Read 111 times