slpc.lk

ජාතික ව්‍යාපාරයේ නැගීම සහ ආගමික පුවත්පත් ...

ජාතික ව්‍යාපාරයේ නැගීම සහ ආගමික පුවත්පත් ...

”පෝය දිනවල මල් පහන් රැගෙන ආගමික ස්ථාන වලට පැමිනෙන ලෙසත් ආගමික වත් පිළිවෙත්, පෙරහැර පැවැත්වීම සඳහාත්, මහජනයා රැස්විය යුතු බවත් කියමින් ඔවුන් විවිධ කතා පවත්වති. ඒ සඳහා ආගමික පතපොත, පත්තර ඔවුන් පලකරති. එම පතපොත, පත්තරවලින් සහ එම රැස්වීම් වලින් කරන්නේ ආගමික ප‍්‍රචාර වලට මුවාවෙන් ඉංග‍්‍රීසි ආණ්ඩුවට, මහ රැජිනට විරුද්ධව ජනතාව සංවිධානය කිරීමයි. ඒ නිසා එම ව්‍යාපාර තහනම් කළ යුතුය. එම පුවත්පත් නවතා දැමිය යුතුය. එම කතුවරුන් නායකයින් සිර භාරයට ගෙන ඒවා පාලනය කළ යුතුයි.”

ලංකා ඉතිහාසයේ සඳහන් ඉතා දරුණු මර්ධනකාරී යටත්විජිත පාලන කාලයේ සිටි පොලිස්පතිවරයකු වූ හර්බට් ඩෞබිගින් එංගලන්ත ආණ්ඩුවට 20 වන සියවස මුල භාගයේ උණුසුම් වෙමින් පැවති අධිරාජ්‍ය විරෝධී ජාතික ව්‍යාපාරය පදනම් කරගෙන රහසිගත ලිපියක් යටත්විජිත ලේඛම්වරයාට යොමුකර තිබුණු ලිපියක කොටසක් එසේ විය. මෙසේ නිරීක්‍ෂණය කරමින් සිටි යටත්විජිත පාලකයෝ 1915 ගැටුම් පදනම් කරගෙන ඒ වන විට මෙරට ස්වදේශික බහුතර ජනතාව දැනුවත් කරමින්, අවදි කරමින් ප‍්‍රකාශයට පත්කරමින් තිබූ පුවත්පත් රැසක් තහනම් කළ අතර කතුවරුන් බන්ධනාගාරගත කළේය. පියදාස සිරිසේන, ඞී.ඩබ් වික‍්‍රමාරච්චි, හේමපාල මුණිදාස, එස්. එච් පෙරේරා, කොග්ගල පඩිතුමා, බටුවන්තුඩාවේ පඩිතුමා වැනි කීර්තිමත් පුවත්පත් කලාවේදීන් අත්අඩංගුවට ගත්තේය. සිංහල බෞද්ධයා, සිංහල ජාතිය, ස්වදේශ මිත‍්‍රයා, ලක්මිණි පහන, දිනමිණ, සරසවි සඳරැස මෙම තහනම් කළ පුවත්පත් අතර කැපී පෙනුණි. සිංහල බෞද්ධයා කර්තෘ අනගාරික ධර්මපාලතුමා මේ වන විට ලංකාවේ නොසිටි අතර ඉංදියාවේදී ඔහු නිවාස අඩස්සියට ගන්නා ලදී. සිංහල බෞද්ධයා තහනම් කරන ඔවුන් ධර්මපාලතුමාගේ සොයුරු එඞ්මන් හේවාවිතාරණ අත්අඩංගුවට ගන්නා ලදී. මෙරට පුවත්පත්, ප‍්‍රකාශන කලා ඉතිහාසය අධ්‍යයනය කරන විට කැපී පෙනෙන විශේෂත්වය වන්නේ මෙරට ආරම්භ වූ ස්වදේශික සියලූම පුවත්පත්, ප‍්‍රකාශන අති බහුතරය ආගමික හැඩයෙන් ප‍්‍රකාශයට පත්වූ බවයි. මෙරට මුලින්ම ප‍්‍රකාශයට පත්වූ පුවත්පත් ලෙස සැළකෙන්නේ 1832 දී ප‍්‍රකාශයට පත්වූ Colombo Journal පුවත්පතයි. ඉන් පසුව ඉංග‍්‍රීසි පුවත්පත් කිහිපයක් ප‍්‍රකාශයට බත්වූ අතර ප‍්‍රථම ස්වභාෂා පුවත්පත ලෙස හඳුනාගැනෙන්නේ යටත්විජිත පාලනයේ ආශීර්වාදයෙන් මෙරටට පැමිණි කිතුණු මිෂනාරි ආගමික කණ්ඩායමක් විසින් පල කළ දෙමළ මාධ්‍යයෙන් පල වූ ‘‘උයද තාරකෛයි’’ පුවත්පතයි. ඒ දෙමළ ජනතාව අතර මිෂනාරි ආගමික අදහස් පැතිරවීමටත්, හිංදු ආගමෙන් කිතුණු මිෂනාරි ආගම් වලට ජනතාව පොළඹවාගැනීමටත් කටයුතු කිරීම එහි අරමුණු විය. සමකාලීන මූලික තොරතුරු ද එහි ප‍්‍රකාශයට පත්වීම නිසා එය පොදු පුවත්පතක හැඩය ගත්තේය.

යටත් විජිත පාලන සමයේදී ආරම්භ වූ මුද්‍රණාල සියල්ලේම අරමුණ වූයේ ආගමික මතවාදයන් පතුරුවා හැරීමයි. 1840 දී මෙරට සිංහල මාධ්‍යයෙන් පල වූ ප‍්‍රථම සඟරාව ලංකා නිධානය ප‍්‍රකාශයට පත්වූයේ ද ඉහත අරමුණු සහිතවයි. මාසික තෑග්ග, සඟරාව ද එම අරමුණින් ප‍්‍රකාශයට පත්විය. මෙරට ආගමික පුවත්පත් බිහිවීම වඩා උණුසුම් සටන්කාමී තරඟකාරී ව්‍යාපාරයක් බවට පත්වන්නේ 19 වන සියවස අග භාගයේදී මෙරට බහුතර සිංහල බෞද්ධයින් අතරින් මුද්‍රණාලයක් බිහි කිරීමේ අරමුදල ආරම්භවීම සමඟය. ජාතික ව්‍යාපාරයේ නායකයකු වූ සටන්කාමී භික්‍ෂුවක වන බුලත්ගම ධම්මාලංකාර හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් බෞද්ධ මුද්‍රණාල අරමුදල ආරම්භ කරන ලදී. මිෂනාරි පතපොතට විකල්පව බෞද්ධ මුද්‍රණ සන්නිවේදන ව්‍යාපාරය අරඹන්නේ මෙම මුද්‍රණාලය පදනම්කරගෙන ය. ලංකෝපකාරය මුද්‍රණාලය මඟින් ප‍්‍රථම සිංහල පුවත්පත ලංකාලෝකය ආරම්භ කළේය.

ලංකාලෝකයට සමාන්තරව ආගමික හා ජාතික හැඩයෙන් යුත් 1872 දී කොග්ගල පඩිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ලක්මිණි පහන ආරම්භ කරන ලදී. ඉතාම නිර්මාණශීලීව බි‍්‍රතාන්‍ය පාලකයින් හා නොගැටෙමින් නිර්මාණාත්මක ලෙස කරුණු ඉදිරිපත් කළ ලක්මිණි පහන මඟින් බෞද්ධ සාරධර්ම, පුරුෂාර්ථ හා අගයකිරීම් ඉස්මතු කරන ලදී. ඒ සඳහා වලානේ සිද්ධාර්ථ හිමියන්, ගාල්ලේ ගුණතිලක අතපත්තු මුදලි, බටුවන්තුඩාවේ පඩිතුමා හා අන්ද්‍රියල් ද සිල්වා යන බෞද්ධ නායකයින් සහය දක්වන ලදී. ඒ 1866 දී ඇරඹුණු ලක් රිවි කිරණ මෙරට ජාතික ව්‍යාපාරයේ මුල් යුගයේ කැපී පෙනෙනෙ තවත් පුවත්පතකි. ආගමික සාරධර්ම හා අගයකිරීම් පිළිබඳ විමසා බැලීමේදී 1866 ඇරඹුණු ඥානාර්ථ ප‍්‍රදීපය කිතුණු දහමේ අගය ප‍්‍රචාරය කළ පුවත්පතක් වේ. මීට අමතරව සත්‍ය විනිශ්චය නමින් පුවත්පතක් 1867 දී මෙම අදහස් නියෝජනය කරමින් ප‍්‍රකාශයට පත්විය. සත්‍ය මාර්ගය, සත්‍යාවලෝකය ඒ හා බැඳුණු කිතුණු ප‍්‍රකාශන ය.

කිතුණු ආගමික ප‍්‍රකාශන අධ්‍යයනය කිරීමේදී කැපී පෙනෙන විශේෂත්වය වන්නේ බි‍්‍රතාන්‍ය පාලනය සමඟ ගැටීමකට වඩා පක්‍ෂපාතී ලෙස කරුණු ඉදිරිපත් කිරීමයි. ආගමික පුවත්පත් අධ්‍යයනය කිරීමේදී පෙනී යන ප‍්‍රධාන කරුණ වන්නේ සිංහල මාධ්‍යයෙන් විශේෂයෙන් බෞද්ධාගමික පුවත්පත් ලෙස හඳුනාගන්නා ප‍්‍රකාශන අධිරාජ්‍ය පාලනයේ සාහසිකත්වය, මර්ධනය අන්‍යාගමික කරණය සහ රටේ නිදහස යන තේමාවන් වටා පුවත්පත් පල කිරීමයි. මේ සෑම පුවත්පතකම අධිරාජ්‍ය විරෝධය සන්නිවේදනය කිරීම කැපී පෙනෙන විශේෂත්වයකි. සුරතුර නමින් 1832 දී පලවූ පුවත්පතක එහි ලේඛකයෙක් ලියූ ලිපියක උද්‍රෘතයක් මෙසේ ලියා දක්වමු.

”මට ඕනෑ රට ජාතිය, සිංහල ජාතිය සහ ආගම වෙනුවෙන් සිර ගෙයට නොව එල්ලූම් ගහට නිර්භයව ඉදිරිපත්වී, එය පෝරකයට පැද්දෙන රන් ඔංචිල්ලාවක් ලෙස සලකා සිනාමුසු මුහුණින් යුක්තව ඊට නැගීමට සමත් ආත්ම පරිත්‍යාගශීලී මිනිසුන් ඇතිකිරීමයි.”

”රට දැය සමය බස දියුණට කඳුළු කැට
පිට කරනට ලදොත් එය දිව සැපෙකි මට”
-ගනේගම සීලානන්ද හිමියන්-

මෙවැනි උදාහරණ ඕනෑතරම් මෙම පැරණි මූලාශ‍්‍ර ආශ‍්‍රිතව දැක්විය හැකිය. ස්වදේශිකත්වය, ජාතිකත්වය, අභිමානය සහ අනන්‍යතාවය ඇතිකරවීමට මේ යුගයේ කැපී පෙනෙන විශේෂත්වය යි.

මෙරට ජාතික ව්‍යාපාරය හා ආගමික පුවත්පත් පිළිබඳව අධ්‍යනය කිරිමෙදී එහි පුරෝගාමි නායකයෙකු වූ හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමියන්ගේ කාර්යභාරය කැපී පෙනෙයි ජනමත නායකයෙකු ධර්ම දේශකයෙකු ලේඛකයෙකු මෙන්ම පුවත්පත් කලාවේදියකු වශයෙන් උන්වහන්සේගේ කාර්යභාරය මෙහිදී සැලකිය හැකිය. විදේ‍යා්දය පරිවේනාධිපති ශ‍්‍රී සුමංගල හිමියන් පලකරන ලද විවිධ ආගමික පත පොත සමූහය අතර ලංකෝපකාර මුද්‍රණලය යටතේ රිවිරැුස නමින් පුවත්පතක් ආරම්භ කළේය. රිවිරැුස පුවත්පත ප‍්‍රකාශ කිරීමට අමතරව සරසවි ස`දරැුස, අරුණෝදය, ලක්මිණි පහන පුවත්පත්වලට ද සක‍්‍රීය දායකත්වයක් උන්වහන්සේ ලබා දුන්නේය. තමන්ගේම පුවත්පතක් වශයෙන් රිවිරැුස අඛන්ඩව පවත්වාගෙන යන අතරතුර පරම විඥානාර්ථ සංගමයේ සරසවි ස`දරැුස පවත්වාගෙන යාමට උන්වහන්සේ නිර්මාණත්මක ලෙස සිය අත්දැකීම් එකතු කලේය. සරසවි ස`දරැුස පත‍්‍රයේ ලියූ මෙම කවිය උන්වහන්සේ රචනයක් යැයි කියනු ලැබේ.

සරණට එන ලෙස නොව හැකිලෙන දෙස
නර`ගන වැඩ නිසා සුවපතට නොවන ලෙස
පෙර පඩියට බසා කර ඇසුරු කරු ලෙස
සරසවි ස`දරැුස පළ කරමු මනා තොස

මෙම පුවත්පත ව්‍යාපරය කෙතරම් බලපෑම්කාරීද යත් මෙරට සමාජයන්ගේ සමාජ දේශපාලනික ව්‍යාපාරය ගොඩනැගීමට විද්‍යෝදයි මහපිරිවෙනේ ප‍්‍රධාන දායකයෙකුව සිටි දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි විසින් නායකත්වය දෙන තවත් ආගමික පුවත්පතක් වශයෙන් ලක්මිණි පහන ගොඩ නැගීමට දායකත්වය ලබා දෙන ආකාරය හ`දුනාගත හැකිය. 19 සියවස අගභාගයේ මෙරට ආගමික පුවත්පත් හ`දුනාගත හැක්කේ හුදෙක් ආධ්‍යාත්මික හැ`ගීම් ප‍්‍රකාශ කරන පුවත්පත් වශයෙන් නොවේ. ඔවුන් සමකාලීන යටත් විජිතවාදයේ බලපෑමෙන් ලාංකික සමාජය සාමාන්‍ය ජනතාවගේ චින්තනය, බුද්ධිය, ජීවන චර්යාවන්ට කරන බලපෑම සහ ස්වදේශිකයන්ගේ බහුතර දෙනා විශ්වාස කළ බුදුදහමට එරෙහි සමාජ දේශපාලන මතවාදයට විරුද්ධවන ආකාරය දැකිය හැකිය.

19 වෙනි සියවස අග භාගය වන විට පැවැති බෞද්ධ ආගමික සිද්ධස්ථාන වත් පිළිවෙත් සහ බෞද්ධයකු යැයි ප‍්‍රකාශ කිරීම මදි පුංචිකමක් ලෙස සැලකීම වෙනුවට ඒ පිළිබඳව ධර්ම ශාස්ත‍්‍රීය අවබෝධයක් ඇති කරවීමට උචිත ආගමික ප‍්‍රකාශන ජාලයක් ආරම්භ කරන අයුරු ද හ`දුනාගත හැකිය. ලංකෝපකාර බෞද්ධ මුද්‍රණලයයෙන් අරම්භවන බෞද්ධ මුද්‍රණාල ව්‍යාපාරය ඉතා කෙටි කලෙකින් තවත් මුද්‍රණාල කිහිපයක් ඔස්සේ ඔස්සේ ආරම්භවන හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමියන්ගේ නායකත්වයෙන් මුද්‍රණය කරන සුදර්ශනය (1862) බෞද්ධ වාක්සාරය (1862
) සුමති සංග‍්‍රහය (1864) සන්ධි සංග‍්‍රහය (1866) කාව්‍යශේකරය (1872) සිදත් සගරා සන්නය (1873) සිංහල ව්‍යාකරණ සහිත වර්ණ රීතිය (1873) මාසර්තු ලක්ෂණය (1874) පාලිවයාන වරන ශිල්පය (1875) උම්මග්ග ජාතක සන්නය බටුවන්තුඩාවේ පඩිතුමා සමග (1880) සිංහල මහා වංශය බටුවන්තුඩාවේ පඩිතුමා සමග (1883) සීමා විභාගය (1885) තොටගමු පැරණි විහාර ඉතිහාසය (1889) චන්ද්‍රභරතා සන්නය රාජසුන්දර සමග (1889) බලාවතාර ටීකා (1892) ලඝු සිද්ධාන්ත කෞමදී (1908).

මෙම මුද්‍රණ ව්‍යාපාරය ධර්මශාස්ත‍්‍රීය කරුණු පිළිබඳව මිශනාරීවරුන්ගේ විවේචනයන්ට පිළිතුරු දීම ස`දහා ප‍්‍රකාශයට පත් කළ ග‍්‍රන්ථ ප‍්‍රකාශන ව්‍යාපාරයන්ගේ එලි දුටු කෘතීන් කිහිපයකි. ආගමික ප‍්‍රකාශන ගණයේ සැලකෙන අනගාරික ධර්මපාලතුමා විසින් ආරම්භ කරන ලද ”බෞද්ධයා” පුවත්පත මෙම පුවත්පත් අතර වඩාත් බලපෑම්කාරී ප‍්‍රකාශනය ලෙස හ`දුනාගත හැකිය.


පරාදීනත්වයට එරෙහිව ජාතිකත්වය සාමාන්‍ය ජනතාව අතර අවදි කිරීම පමණක් නොව සිංහල බෞද්ධයා පුවත්පත බෞද්ධ සාරධර්ම පුරුෂාර්ථයන් හා අගය කිරීම් නූතන ශිෂ්ටාචාරවත් සමාජයකට ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න පෙන්වා දෙන මාර්ගෝපදේශක ජනමතයක් ගොඩ නැගීමට උත්සාහ කළේ ය. අනගාරික ධර්මපාලතුමා විසින් ලියන ලද ”දැනගතයුතු දේ” නම් වූ තිරරචනය එහිලා විශේෂයෙන් සැලකිය හැකිය. එමගින් සමාජයේ පසුගාමී සමාජ වටිනාකම්, සමාජ අගයන් පමණක් නොව බෞද්ධ සාරධර්ම මත ජාතික ජාතික නිෂ්පාදන ආර්ථිකයක් සහ අන්‍යතාවයෙන් යුත් සමාජයක් ගොඩනැගීම එහිලා ප‍්‍රධාන තේමාව වශයෙන් දැක්විය හැකිය. 1915 දී ඉංග‍්‍රීසි ආණ්ඩුව විසින් තහනම් කරන ලද සිංහල බෞද්ධයා පුවත්පත තහනමට ලක්වන තරමටම සමාජ මතය සකස් කිරීමේලා අධිකාරිත්වක් දැරූ බව පෙනේ. සිංහල බෞද්ධයා පුවත්පත සමස්ත ලෙස අධ්‍යයනය කිරීමේදී පහත සඳහන් ක්ෂේත‍්‍රයන් එහි සමස්ත හරයන් නිගමනය ලෙස දැක්විය හැකිය. 

  • බටහිර ජාතීන්ගෙන් මෙරට ජනයාට සිදු වූ හිරිහැර.
  • සිිංහල භාෂාව හා ආගම කොන් කිරීම.
  • විවිධ සමාජ පන්තීන් බිහිවීම.
  • විදේශිකයන්ට පිටරට භාෂාවන්ට මුල් තැන දී සැලකීම.
  • සිංහලයින් වෙනත් ආගම් වැළඳ ගැනීම.
  • සිංහල උගත් පන්තිය පෙරට ඒම.
  • කිියවීම වෙනුවෙන් ජනතාව පෙළඹීම.
  • සිිංහල උන්නතිකාමී නායකයින් බිහිවීම පන්සල් මූලිකත්වය ගැනීම.
  • කර්මාන්ත සංවර්ධනය.
  • වෙළෙඳපොළ පුළුල් වීම.

මෙරට ආගමික පුවත්පත් හා ජාතික ව්‍යාපාරය පිළිබඳව විමසා බැලීමේදී කිතුණු පුවත්පත් බෞද්ධ සමාජය නියෝජනය කළ පුවත්පත් මෙන්ම හින්දු හා ඉස්ලාම් ආගමික පුවත්පත්වලින් සිදු වූ කාර්යය විමසා බැලිය යුතුය. 19 වන සියවසේ සිංහල බෞද්ධ සමාජයේ ඇතිවන ජාතික ප‍්‍රබෝධය හින්දු සමාජයේ ද මතුවන අයුරු උතුරු ලංකාවේ පුවත්පත් අධ්‍යයනය කරන විට පෙනී යයි. යටත් විජිත ආක‍්‍රමණිකයින් ඔවුන්ගේ ආශිර්වාදය මත උතුරු ප‍්‍රදේශයේ පිහිටවන මිෂනාරී ආගමික ආයතන ඔස්සේ විවිධ ආගමික ප‍්‍රකාශන දෙමළ මාධ්‍යයේ බිහිකළ අතර ඒවායේ ප‍්‍රධාන අරමුණ වූයේ ආගමික ව්‍යාප්තවාදය හා යටත් විජිත පාලනයට පක්ෂපාතීත්වයට පල කිරීමයි. ආරුමුගම් ශ‍්‍රි නාවලර් තුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වන හින්දු දෙමළ ජාතික ප‍්‍රබෝධය ඒ වන විට දකුණු ලංකාවේ පැවැති බෞද්ධ ආගමික ප‍්‍රබෝධයට සමාන්තරව මතුවන අධිරාජ්‍ය විරෝධී මතවාදය ගොඩනගන ආකාරය ආරුමුගම් නාවලර් තුමා ආරම්භ කරන උදයභානු ඇතුළු තවත් පුවත්පත් හා පොත්පත් ප‍්‍රකාශන ව්‍යාපාරය තුළින් හඳුනා ගත හැකිය. උදයභානු පුවත්පත හින්දු ආගමික අධ්‍යාපනයේ වැදගත්කම යටත් විජිත වාදයේ සාහසිකත්වය හින්දු දෙමළ කලා සම්ප‍්‍රදායන්ගේ වැදගත්කම අවධාරණයට ලක් කළ අතර ඒ මගින් උතුරු ලංකාවේ හින්දු ආගමික ප‍්‍රබෝධය තරම්ම අධිරාජ්‍ය විරෝධී පණිවුඩය සමාජගත කිරීමට කැපවීම කැපී පෙනෙන විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය.

මෙම අධිරාජ්‍ය විරෝධී දෙමළ සමාජයේ පිබිදීම පසුව මධ්‍ය කදුකරයේ දෙමළ පාඨක සමාජය තුළින්ද නිරූපණය කරන්නේ නඬේෂ අයියර් පුවත්පත් කලාවේදියාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹෙන දෙමළ හින්දු සමාජයේ අවදි වීම අගවන ප‍්‍රකාශන ජාලයන් ආරම්භ වීමයි.

මෙම ජාතික ප‍්‍රබෝධයේ ආගමික ප‍්‍රකාශන අධ්‍යයනය කරන විට සුළු ජන කණ්ඩායමක් ලෙස පෙනී සිටින මුස්ලිම්, ඉස්ලාම් සමාජයේ පිබිදීමද විශේෂයෙන් සැලකිය යුතුය. යටත්විජිතකරණය තුළ පීඩාවට පත්වන සිංහල බෞද්ධ හින්දු දෙමළ සමාජය මෙන්ම මුස්ලිම් සමාජය ද පසුගාමීත්වයට එරෙහිව මුස්ලිම් ආගමික ප‍්‍රබෝධය හා අධිරාජ්‍ය විරෝධය නැතහොත් ජාතික ප‍්‍රබෝධය සඳහා නායකත්වය දෙන මුස්ලිම් පුරෝගාමී මාධ්‍යකරුවෙක් වශයෙන් මහනුවර සිද්ධි ලෙබ්බේ කලාවේදියා කැපී පෙනෙයි. ගත්කතුවරයකු ලේකඛයකු වූ ඔහු ”මුස්ලිම් නේශන් ” පුවත්පතක් අරඹමින් ඉස්ලාම් ආගමේ මතවාදයන් සංකල්පයන් මෙන්ම සම්ප‍්‍රදායන් සමාජගත කිරීම සඳහා ක‍්‍රියාකාරීවන අයුරු හදුනාගත හැකිය. මිෂනාරි අධ්‍යාපනය විසින් සිය අනන්‍යතාවයට කළ බලපෑම නිර්දය ලෙස විවේචනයට ලක් කරන ඔහු පසුගාමී කොන් වූ ජන කණ්ඩායමක්ව සිටි මුස්ලිම් ජාතිකයින් අධ්‍යාපනය ලැබීමේ වැදගත්කම ආගමික වත් පිළිවෙත් අනුව ජීවත් වීමේ වැදගත්කම අවධාරණය කරමින් මිෂනාරි අධ්‍යාපනයට විකල්පව මුස්ලිම් ආගමික ප‍්‍රබෝධය සඳහා කැපවීමේ වැදගත්කම පෙන්වා දුන්නේ මෙම පුවත්පත මගිනි.

සමස්ත ලෙස 19 වන සියවස අගභාගය හා 20 වන සියවස මුලභාගයේ ඇති වූ ජාතික ප‍්‍රබෝධයේ පුරෝගාමී මෙහෙවර ඉටු කළේ ආගමික පුවත්පතයි. 20 වන සියවස මැද භාගයේ අත්පත්කරගත් ඩොමීනියන් තත්වය හා නිදහස් ශ‍්‍රී ලංකාවේ ඉටු කරන කාර්යයභාරය කුමක්ද? නූතන යුගය දෙස අපි හැරී බලමු. වර්තමාන පත්තර වෙළෙඳපළේ ආගමික ප‍්‍රකාශන කිහිපයක් නිතිපතා අපට හමු වේ. ලේක්හවුස් ආයතනය යටතේ ප‍්‍රකාශයට පත්වන බුදුසරණ කතෝලික ආගමික ප‍්‍රකාශනයක් වන දැනට ලංකාවේ වැඩිහිටිම වාර ප‍්‍රකාශනය ලෙස සලකන ඥානාර්ථ ප‍්‍රදීපය දිවයින පුවත්පත් සමාගම මගින් ප‍්‍රකාශ කළ බුදුමග ප‍්‍රකාශනය කැපී පෙනෙයි. මීට අමතරව ඉතා සීමිත පාඨක පරාසයකින් සමන්විත විවිධ ආගමික ප‍්‍රකාශන වරින් වර අපට හමු වේ. ආගමික ප‍්‍රකාශන නූතන නිදහස් ශ‍්‍රී ලංකාවේ ඉටුකරන කාර්යභාරය කුමක්ද? යන්න ගැටලූ සහගතය.


19 වන සියවස අග 20වන සියවස මුල මෙරට ඒ ඒ ජනවර්ග ආගමික සමාජවල අනන්‍යතාවයන් ජාතිකත්වයන් ජාතික නිදහස සිය ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි පුවත් පත් නිදහස් ලංකාවේ නූතන සමාජ සාරධර්ම ක්ෂේත‍්‍රයේ කාර්යභාරය ඉටු කරමින් තිබේද? ලෝකයේ දිවිනසා ගැනීම් අතින් ප‍්‍රධාන රටවල් පහ අතර අඛණ්ඩව රැුදී සිටිමින් සමාජ සාරධර්ම මූලික මානවීය වටිනාකම් බිදවැටීම පිළිබඳව නිරන්තරව අපට අසන්නට ලැබේ. ආගමික සන්නිවේදන පුවත්පත්වලින් ඔබ්බට ගුවන්විදුලිය හා රූපවාහිනී නාලිකා ඔස්සේ පමණක් නොව සෑම උදෑසනකම සෑම සන්ධ්‍යාවකම දවසේ වාර කිහිපයක්ම රට පුරා ආගමික ගීතිකා, යාඥා ඇසෙමින් පවතී. ඇසෙන්නට සලස්වා ඇත. ආගමික සන්නිවේදනයේ සමාජමය අර්ථය ඉටු වී තිබේද? විමසිය යුතු ගැටලූවකි.


මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස,
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

Read 266 times